Gossips

අද සිට විශේෂ දුම්රිය සේවා 24ක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 24ක් අද (07) සිට ධාවනයට එක් කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුවේ සිට දුර බැහැර ගමනාන්ත ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බවයි.
පළමු අවුරුදු විශේෂ දුම්රිය අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කිරීමට නියමිත බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, අවුරුදු සමය වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද ඊයේ (06) සිට විශේෂ අවුරුදු බස් රථ සේවාවක් ආරම්භ කළා.
එම කොමිෂන් සභාවේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර සඳහන් කළේ කොළඹ සිට විවිධ ගමනාන්ත කේන්ද්‍ර කරගෙන බස් ගමන් වාර 3500ක් පමණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ ඒකාබද්ධව ලබන අඟහරුවාදා සිට විශේෂ බස් රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
අධිවේගී මාර්ගය ද ඉලක්ක කරගෙන එම බස් රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.