Gossips

අද සිට වැඩිවන දඩයට එරෙහිව ප්‍රවාහන සංගම් ඒකාබද්ධ සටනක

රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති.
එමෙන්ම මාර්ග නීති උල්ලගණය කරමින් රථ වාහන ධාවනය කිරීමට අදාළව පැවති රුපියල් දහසේ දඩ මුදල නව ස්ථානීය දඩ මුදල් අය කිරීම යටතේ රුපියල් 2000 දක්වා ඉහළ නැංවෙනවා.
මෙම නව දඩ මුදල් අය කිරීම යටතේ මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැරදි ඇතුළු නව වැරදි 10ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
නව සංශෝධනවලට අනුව මෙතෙක් රුපියල් 20ක්ව පැවති අවම දඩ මුදල ද රුපියල් 500ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
නව දඩ මුදල් ගෙවීම සඳහා දින 28ක කාලයක් ලබා දී ඇති අතර, මුල් දින 14න් පසු ගෙවන දඩ මුදල දෙගුණයක් වන බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ පිළිබදව ප්‍රවාහන සංගම් බහුතරයක් සිය විරෝධය පළ කරනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ රජය ආදායම් ලබාගැනීමේ අරමුණින් මෙලෙස දඩ මුදල් ඉහළ නංවා ඇති බවයි.
සමස්ත ලංකා අන්තර්පළාත් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයද ඊට විරෝධය පළ කළා.
එමෙන්ම ලංකා ස්වයං රැකියා වෘත්තීකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ඉදිරියේදී සියලූ ප්‍රවාහන සංගම් සමඟ එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් නව දඩ මුදලට එරෙහිව සැළසුම් කර ඇති බවයි.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් අප කළ විමසීමකදී සදහන් කර සිටියේ අදාළ දඩ මුදල සම්බන්ධයෙන් තම සංගමයේ විරෝධතාවයක් නොමැති බවයි.