Gossips

අද සිට තද වැසි අඩුවන ලකුණු – ගංඟාවල තත්ත්වයත් යහපත් අතට

අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමේදී කිසිවිටෙකත් චක්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.
ඒ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිලිබදව සොයා බැලීම සදහා හලාවත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වීමෙන් අනතුරුව මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
එමෙන්ම, ජනතා අවශ්‍යතා අනුව, එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන ලෙසයි ඊට එක්ව සිටි නිලධාරින්ට ජනාධිපතිවරයා දැනුම් දුන්නේ.
මේ අතර, දිස්ත්‍රික්ක 20 කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 40017 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ පනස් තුන්දහස් හත්සිය දොළොස්දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පවුල් 14,337 කට අයත් පුද්ගලයින් 55,553 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 265 ක රදවා තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ කියා සිටියේ මේ වනවිට ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බවයි.