Gossips

අද සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි

ලෝක කාන්තා දිනය නිමිති කරගෙන කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා.
පොදු මගී ප්‍රවාහනයේදී කාන්තාවන්ට මුහුණදීමට සිදුවන හිංසනය හා පීඩනය අවම කිරීම සඳහා කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි කිහිපයක් කාර්යාල දුම්රිය කිහිපයකට එක්කර ධාවනය කිරීම සිදුවන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.
පළමු අදියර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඇතිවන ගැටළු හෝ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමෙන් පසු අනෙකුත් දුම්රිය සඳහාද කාන්තා මැදිරි වෙන්කරන ලෙසටයි විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග දුම්රිය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.
ඒ අනුව අලුයම 05 ට මාතරින් කොළඹ – කොටුව දක්වා ගමන් ආරම්භ කරන සාගරිකා දුම්රියේ කාන්තාවන් සඳහා මැදිරියක් වෙන්වන අතර, නැවත කොළඹ – කොටුවෙන් සවස 4.40 ට මාතර දක්වා ගමන් ආරම්භ කරන දුම්රියේද ඒ සඳහා මැදිරියක් වෙන්කර තිබෙනවා.
එමෙන්ම, සමුද්‍රදේවී දුම්රිය සඳහාද කාන්තා මැදිරියක් වෙන්කර ඇති අතර, පෙරවරු 4.45 ට මහව දුම්රිය ස්ථානයෙන් කොළඹ – කොටුව දක්වා ධාවනය කෙරෙන මහව කාර්යාල දුම්රිය සඳහාද කාන්තා දුම්රිය මැදිරියක් වෙන්වනවා.
ඒ අනුව අද දින කාන්තාවන්ට වෙන් වූ දුම්රිය මැදිරි සේවාව වේයන්ගොඩින් ආරම්භ කරන බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.