Gossips

අද සහ හෙට වැසි තත්වයේ වැඩිවීමක්

අද (16) සහ හෙට (17) දිනවල දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බොහෝ ප්‍රදේශවලට සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ඉදිරි පැය 6 ක පමණ කාලය තුල බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකියි.
මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි අදාළ ප්‍රදේශවල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැලකී සිටිය යුතු වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙනවා.