Gossips

අද රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක නිරතවන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.ටී. පීරිස් පවසනවා.
ඔහු කියා සිටියේ මෙම ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.
දුම්රිය ස්ථානාධිපති, පාලක සහ රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් පසුගිය 26 වනදා පස්වරු දෙකේ සිට හතර දක්වා හදිසි වර්ජනයක් ක්‍රියාත්මක කළා.
ඒ, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් පිළිබදව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සිදුකරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.
මෙම හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු වී මගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර, මරදාන, කොටුව, රාගම සහ ලූණුවිල යන දුම්රිය ස්ථානවල ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
මරදාන දුම්රිය ස්ථානයේ මගීන්ගේ නොසන්සුන්තාව හේතුවෙන් එහි දේපලවලට ද හානි සිදුව තිබුණා.