අමාත්‍ය ධූරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමට අද රාත්‍රියේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගනු ලබන තීරණවලට අනුව තවත් පිරිසක් එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු සඳහා නිදහස් පක්ෂයේ දායකත්වය මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න කියා සිටියේ මැයි මස 08 වනදා වනවිට බොහෝ පිරිසක් තම කණ්ඩායමට එක් වනු ඇති බවයි.
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා කොළඹ දී සහ කුරුණෑගල දී ඊයේ (23) රාත්‍රියේ වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තිබුණා.
මේ අතර, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබද කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තා අද (24) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි.
ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබද කරුණු අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 13 වන දා මෙම කමිටුව පත් කළ අතර ඊට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්.