Gossips

අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

අද රාත්‍රි කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, උතුරු මැද සහ බස්නාහිර පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ක 80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකියි.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.
එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.