Gossips

අද රාත්‍රියේත් තද වැසි සමග සුළං – ජලාශ 6ක වාන්දොරටු තවමත් විවෘතයි (ඡායාරූප)

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීම හෙට දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
ඒ අනුව, දැදුරු ඔයේ වාන්දොරටු 4 ක් මේ වනවිටත් විවෘත කර ඇති බැවින් දැදුරු ඔය පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහල යාමෙන් එහි වාන්දොරටු 10 න් 6 ක් විවෘත කිරීමත් සමග තත්ත්පරයට ඝණ අඩි 560 බැගින් ජලය මහවැලි ගගට මුදා හැරෙනවා.
එසේම, රාජාංගනය ජලාශයේ වාන්දොරටු 2 ක් අංගමුව ජලාශයේ වාන්දොරටු 2ක්, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2 ක් සහ කුකුලේ ගග ජලාශයේ එක් වාන්දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශවල ජල මට්ටම වාන් මට්ටමට ළගා වී ඇති අතර තද වැසි ඇදහැලූනහොත් රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ද සිදුවනු ඇති.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍යම පරිමාණයේ වැව් රැසක් වාන් මට්ටමේ පවතින අතර පදවිය ජලාශයේ ජල මට්ටම අඩි 3 යි දශම 4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව හිරු වාර්තාකරු සදහන් කළා.
කලාඔය පිටාර ගැලීම නිසා පුත්තලම – මන්නාරම ප්‍රධාන මාර්ගය පරණ එලූවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
එසේම, බණ්ඩාරවෙල ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අඩි 150 ක් උසැති බණ්ඩාරවෙල කසල කන්දේ එක් පැතිබැම්මක කොටසක් කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් කසල කන්ද අසල පවුල් 3 ක ජනතාව ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබුණා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මාතලේ – මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.
එසේම, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද පස්වරුවේ අකුණුසැර වැදීමකින්් මැදිරිගිරිය – කවුඩුල්ල ජලාශයේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
මීට අමතරව, හැටන් – බගවන්තලාව – තෙරේසියා වතුයායේ සේවය කරමින් සිටි කාන්තාවන් 5 දෙනෙකු ද අකුණු කම්පනය හේතුවෙන් අද බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.
අකුණු අනතුරු හේතුවෙන් පසුගිය සති දෙක තුළ පමණක් පුද්ගල මරණ 4 ක් පමණ වාර්තා වී ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ.
අද රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියා.
මේ අතර, ගස් කිහිපයක් කඩා වැටීමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අද නිට්ටඹුව පස්යාල ප්‍රදේශයෙන් අවහිර වුණා.
එම නිසා හට ගත්තේ දැඩි රථ වාහන තදබදයක්. මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ කොළඹ – නුවර මාර්ගයේ අවදානම් සහගත ගස් ඉවත් කිරීමේ කටයුතු හෙට සිට ඇරඹෙන බවයි.
ඒ අනුව, පහළ කඩුගන්නාවේ කිලෝමීටර් 97 සහ 98 ප්‍රදේශයේ අවදානම් සහගත ගස් හෙට ඉවත් කෙරෙනවා. මාර්ග අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර