Gossips

අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි – ටොනාඩෝ ගැනත් අනතුරු අඟවයි

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම වැසිත් සමඟ ටොනාඩෝ තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රදේශ කිහිපයකට ඊයේ ඇතිවූ තද සුළං සහිත ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් නිවාස 200කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටයි.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 119කට ඊයේ ඇති වූ මෙම තද සුළං හේතුවෙන් හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර, ඇඹිලිපිටිය – පදලංගල ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් අඩි 100 මාර්ගයට ගස්කඩා වැටී අවහිර වු අතර, මේ වන විට එම මාර්ගය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
මීට අමතරව, ප්‍රදේශයේ වගා කර තිබූ කෙසෙල් අක්කර 250 කට වැඩි ප්‍රමාණයකට ද සුළිඟින් හානි සිදුව ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 51කට ද හානි සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 7කට ද ඊයේ ඇති වූ සුළං හේතුවෙන් හානි සිදුව ඇති බවයි.
වවුනියාව – මරදංකුලම් ප්‍රදේශයට පැවති දැඩි සුළං සමඟ අයිස් වැස්සක් ද ඇදහැලූණු බවයි වවුනියාව ආපදා කළමණාකරණ මධස්ථානය සඳහන් කළේ.
වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා.
හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ වෙනිවැල්ආර, සීනිමෝදරයාය, බැදිගම්තොට සහ වෙහෙරගොඩැල්ල යන ප්‍රදේශවල පවුල් 5000කට පමණ විදුලිය නොමැති බවටයි වාර්තා වන්නේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියා සිටියේ විදුලි රැහැන් මතට ගස්වල අතු කඩාවැටීම හේතුවෙන් බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර, පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක්ද අද පෙරවරුවේ ගිලා බැස තිබෙනවා.
මේ හේතුවෙන් එම මාවතෙහි පාලම් 03 හන්දියේ සිට පාර්ලිමේන්තුවට ගමන් ගන්නා මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරු 8.30 අවසන් වු ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ පොළොන්නරුව – හබරණ ප්‍රදේශයට බවයි.
එය මිලිමීටර් 131.5 ක් වනවා. කෙසේ වෙතත්, අද දිනයේදීත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ප්‍රේමලාල් සඳහන් කළේ.