Gossips

අද මැදියම් රැයේ සිට සැලසුම් කළ වර්ජනවල වෙනසක් නැහැ – බස් සේවක සහ දුම්රිය වෘත්තීය සමිති කියයි

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වර්ජනය සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ පෞද්ගලික බස් රථ සේවක වෘත්තීය සමිති පවසනවා.
දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක කාලයක් ක්‍රියාත්මක දුම්රිය වර්ජනයට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු පාර්ශව කිහිපයක් නියෝජනය කරන වෘත්තීය සමිති එක්වනු ඇති.
මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයද අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත නව දඩ මුදල් ක්‍රමයට විරෝධය පළ කරමින්.
මේ අතර, උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ පෙරවරු 7 සිට ආරම්භ කළ වර්ජනය අද පෙරවරු 8ට අවසන් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, එම වෘත්තීය සමිති කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ තම ඉල්ලීම්වලට විසදුම් ලබානොදුනහොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.