Gossips

අද පස්වරුවේත් දිවයින අභ්‍යන්තරයේ තද වැසි, අකුණු වැදී අඩපණ වූ කොටුව – මරදාන දුම්රිය යථා තත්ත්වයට

අද (24) පස්වරුවේත් දිවයින අභ්‍යන්තරයේ තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වලට මිලිමීටර් 75ත්, 100ත් අතර වැසි ඇති විය හැකි බවයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පරාක්‍රම සමුද්‍රය, රාජාංගණ, දැදුරුඔය, අංගමුව සහ කුකුළේ ගඟ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ජලාශ අවට පහත්බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ.
හේවාහැට – රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ පොරමඩුල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 24 සහ 25 කණු අතර එක් ස්ථානයක පැති බැම්ම කඩා වැටී මාර්ගය ගිලා බැස තිබෙනවා.
මෙම මාර්ගය නාය යාම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය කඩිනම් පියවර නොගතහොත් ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවිය හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාතලේ, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නාය යාම් අවදානම් නිවේදන නිකුත් කළා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් සහ ආපදා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස කියා සිටියේ නාය යාම් අනතුරු ඇගවීම් පිළිබදව ජනතාව නිරතුරුව සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සංඥා පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා.
අකුණු සැර වැදීම මෙලෙස සංඥා පද්ධතිය අක්‍රීය වීමට හේතු වී ඇති බවයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඊයේ රාත්‍රි 8.45ට පමණ සිදුවූ මෙම අනතුරෙන් දුම්රිය ගමන්වලට බාධා එල්ල වුණා.
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මොණරාගල ප්‍රදේශයෙන්.
එය මිලිමීටර් 105.1ක්.