Gossips

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, වරෙන්තුකරුවෙකු සගවාගෙන සිටි බවට අධිකරණයේදී හෙලි වේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එවකට වරෙන්තුකරුවෙකු සිටි හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නාවික හමුදා මූලස්ථානය තුල සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳගෙන් ලබාගත් සාක්ෂි අනුව තහවුරු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සහ ව්‍යාපාරික ලක්සිරි අමරසිංහට එරෙහිව පවතින නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2017 වසරේ මාර්තු මස 01 සහ 31 වනදා අතර කාලය තුල එවකට වරෙන්තුකරුවෙකු වූ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නාවික හමුදා මූලස්ථානය තුල සැගව සිටීමට අදාල අනුබල ලබා දී ඇති බව සාක්ෂි අනුව තහවුරු වී ඇති බවයි.
සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරිඳ අවස්ථා කිහිපයකදී මොහු හමුවීමට නාවික හමුදා මූලස්ථානය වෙත ගොස් ඇති බවත් එම අවස්ථාවේ සැකකරු තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරන බැවින් කදවුරෙන් පිටතට නොඑන ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නියෝග කර ඇති බවත් සාක්ෂිවල සටහන් වන්නේ යැයි පොලිස් පරීක්ෂකවරයා අධිකරණය දන්වා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු කමාන්ඩර් ලක්සිරි ගමගේ ලබාදී ඇති ප්‍රකාශය කාන්තාවන් දෙදෙනා ලබාදුන් ප්‍රකාශය අනුව තහවුරු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
හිටපු ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට විදෙස්ගතවීමට නාවික හමුදා පොදු අරමුදලෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව ද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම මෙම නඩුවේ පළමු සැකකරු වන ලක්සිරි අමරසිංහ නමැති ව්‍යාපාරිකයා ප්‍රසාද් හෙට්ටිආරච්චිට විදෙස්ගතවීම සඳහා ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් ලබාදී ඇති බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.
එම බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසයි විනිසුරුවරයා රාජ්‍ය බැංකුවකට නියෝග කළේ. මෙම නඩුව ජූලි මස 17 වනදා යලි කැදවනු ඇති.