Gossips

අදත් උණුසුම් වූ පුංචි ආණ්‌ඩු

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගත් දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ධුරය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26) සමත් වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් තංගල්ල නගර සභාවේ සභාපති ධුරය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයටයි.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රී ආසන 19 බැගින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත්තා.
එහිදී නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 6ක් හිමි වූ අතර, ජනතා විමුක්ති පෙරමුණට හිමි වූ ආසන සංඛ්‍යාව 4ක්.
නගරාධිපති තේරීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු නගරාධිපතිනී සුනේත්‍රා රණසිංහ ඉදිරිපත් වූ අතර, පොදුජන පෙරමුණෙන් තරඟ කළේ නාවලගේ ස්ටැන්ලි ඩයස්.
විවෘතව පැවති ඡන්ද විමසීමේදී නිදහස් සන්ධාන සභිකයින් 6 දෙනාගෙන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ අතර, සිව් දෙනෙකුගේ සහය හිමි වුණේ පොදුජන පෙරමුණටයි.
ජනතා විමුක්ති පෙරමුණ එහිදී ඡන්දය දීමෙන් වැලකී සිටියා.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී සුනේත්‍රා රණසිංහ ඡුන්ද 21ක් ලබා ගත් අතර, ඡන්ද 23ක් හිමි කර ගත් නාවලගේ ස්ටැන්ලි ඩයස් නගරාධිපති ධුරයට පත්වුණේ වැඩි ඡන්ද දෙකක් හිමි කර ගනිමින්.
නියෝජ්‍ය නගරාධිපති තේරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කීර්ති උඩවත්ත යෝජනා කළ අතර ඔහු එය ජයග්‍රහණය කළේ ඡන්ද 25ක් හිමි කර ගනිමින්.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රුවන් ලියනගුණවර්ධනට හිමි වූයේ එම පක්ෂයේ ඡන්ද 19 පමණයි.
කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තේරීම අද සිදුකිරීමට නියමිතව තිබුණත් එය ලබන අප්‍රේල් 2 වන දා දක්වා කල් දමනු ලැබුවේ සභාවට තේරී පත්වූ සභිකයින් දෙදෙනෙකුට කැදවීමේ ලිපි ලැබී නොතිබීම හේතුවෙන්.
මොරටුව මහනගර සභාවේ සභාපති තේරීම ද අද සිදුකෙරුණු අතර, එහි නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුයි.
මේ අතර, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වුණේ විවෘත ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයා ඔහුට සහය පළ කිරීම හේතුවෙන්.
එහි උප සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ පොදුජන පෙරමුණේ කීර්ති සේනානායකයි.
පළාත් පාලන ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ ජය ගත් තංගල්ල නගර සභාවේ සභාපති ධුරය හිමි කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදුණු රවිඳු වෙදආරච්චි සමත් වුණා.
මෙවර ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එම නගර සභාවේ ආසන 7 බැගින් හිමි කර ගත් අතර, නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන දෙක බැගින් හිමි කර ගත්තා.
සභාපති තනතුර සඳහා අද පැවැති රහස් ඡන්දයේදී නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය 7 බැගින් සම සමව ඡන්දය ලබා ගත්තා.
අනතුරුව සභාපතිවරයා තේරීම සඳහා කුසපත් ඇදීමක් සිදුකළ අතර එහිදී ජයග්‍රහණය කළේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ පුත් රවිඳු වෙදආරච්චියි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ද හිමි වූයේ එක්සත් ජාතික පක්ෂටයි.
මෙවර මැතිවරණයේදී එම ප්‍රාදේශීය සභාවේ ආසන 14ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ආසන 10ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමි වුණා.
නිදහස් සන්ධානය ජය ගත් ආසන සංඛ්‍යාව 4ක්.
එහිදී ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් එක් ආසනය බැගින් දිනා ගත්තා.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැති අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ නිහාල් සෙනෙවිරත්න ඡන්ද 16ක් හිමි කර ගනිද්දී, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ලබා ගත හැකි වූයේ ඡන්ද 14ක් පමණයි.
කෙසේ වෙතත්, උපසභාපතිවරයා තේරීමේදී එක්සත් ජාතික පක්ෂය, නිදහස් සන්ධානයෙන් අයෙකු නම් කළ අතර පොදුජන පෙරමුණෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාව නම් කළා.
එය විවෘත ඡන්දයක් වශයෙන් පැවති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටිද්දී, එක්සත් ජාතික පක්ෂයේ දස දෙනා, නිදහස් සන්ධානයේ සිව්දෙනා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාට සහාය ලබාදුන් අතර ඔහු ඡන්ද 15ක් ලබා ගත්තා.
අනෙක් අපේක්ෂකයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 14 දෙනා සහ ඔහුගේ ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව ඔහු හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව 15ක්.
ඒ අනුව කුසපත් ඇදීමෙන් උප සභාපති තේරුණු අතර එහිදී ජය ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රීවරයායි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 16 බැගින් ලබා ගත් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරය අද එක්සත් ජාතික පක්ෂය දිනා ගත්තා.
එම සභාපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ තුනම තරඟ වැදීම විශේෂත්වයක්.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් වූ අතර, ඔවුන්ගේ මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් තිදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දුන්නා.
යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉමානුවෙල් ආනලඩ් අද නිතරඟයෙන් තේරී පත්වුණා.
ඒ නගරාධිපති ධුරය සඳහා තරඟ වැදුණු අනෙක් අපේක්ෂකයා වන ඊ.පී.ඩී.පී. පක්ෂයේ සාමාජිකයා ඉවත්වීම හේතුවෙන්.
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණේ ලංකා කම්කරු කොංග්‍රසයේ රාජමනී ප්‍රශාන්ත්.
ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ද සහය හිමි වුණා.
හැටන් – දික්ඔය නගර සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීම උණුසුම්වීම හේතුවෙන් පොලීසිය කැදවීමට සභාවේ කටයුතු මෙහෙය වූ මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස්වරයාට සිදුවුණා.
කෙසේ වෙතත්, ඡන්ද විමසීමේදී සභාපති ධුරයට පත්වුණේ ලංකා කම්කරු කොංග්‍රසයේ එස්. බාලචන්ද්‍රන්.
ඒ සඳහා තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡන්ද 8ක් හිමි වූ අතර, ලංකා කම්කරු කොංග්‍රසයට ද ඡන්ද 8ක් හිමිවීම නිසා කුසපත් ඇදීමකින් අනතුරුවයි සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසය සභාපති ධුරය දිනා ගත්තේ.
පළාත් පාලන ඡන්ද විමසීමේදී නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට 7ක්, ලංකා කම්කරු කොංග්‍රසයට 6ක්, පොදුජන පෙරමුණට 2ක් සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් වශයෙන්.
මෙහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරිය අද එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමත් සමඟයි උණුසුම් තත්ත්වය ඇති වුණේ.
කෙසේ වෙතත්, ඡන්ද විමසීමේදී උප සභාපති ධුරය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයේ් ඒ.ජේ.එම්. පාමිස්ටයි.
ජයග්‍රහණයෙන් පසු කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හැටන් නගරයේ රතිඤ්ඤා දල්වමින් පෙළපාලියක නිරත වූ අතර, එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ සෙන්තිල් රාජ් ශිවදර්ශනීගේ හැටන් – විල්ෆ‍්‍රඞ්පුර ප්‍රදේශයේ පිහිටි නිවසට ගල් ප්‍රහාරයක් ද එල්ල වුණා.
මේ අතර, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් පක්ෂයට හිමි වූ ප්‍රසාද මන්ත්‍රී ආසන සඳහා සභිකයින් පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් එහි හිටපු උප සභාපතිවරයෙකු වන ජයවීර රත්නායක අද කොළඹ – ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුණා.
එහිදී ඔහු කියා සිටියේ මහියංගනය ආසනයේ නිදහස් පක්ෂ සංවිධායකවරයා ඔහුට හිතවත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු පත් කර ඇති බවයි.