Gossips

අත සහ පොහොට්ටුව එක්වීම ගැන සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදි පැවැත්වුණා.
සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි අතුරු තහනම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි.
මෙහිදී අධිකරණය ලබාදෙන ඕනෑම තීරණයකට අනුව කටයුතු කිරීමට ජනාධීපතිවරයා උපදෙස් ලබාදුන් බවද මහලේකම්වරයා සඳහන් කළා.
ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටියේ තමන්ද ඉදිරියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර ඉදිරි මහ මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළා.