Gossips

අතුරු සම්මත ගිණුම සම්මතයි

ලබන වසරේ පළමු මාස 4 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි.
ආණ්ඩුව සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය මෙම අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය භාවිතා කළා.
විපක්ෂව ඡන්දය ලබාදුන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 970 ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වීම විශේෂත්වයක්.
එම මුදල සමස්ත අතුරු සම්මත ගිණුමෙන් ප්‍රතිශතයක් ලෙස 55% ක් වනවා.
මීට අමතරව මෙම අතුරු සම්මත ගිණුම මගින් රුපියල් බිලියන 480 ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන්කර ඇති අතර, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 310 ක්.
අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.
මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දමන බව ද අග්‍රාමාත්‍යවරයා එම විවාදයේදී ප්‍රකාශ කළා.
අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් ද සොයිසා, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා සහ අනුර කුමාර දිසානායක ද අද විවාදයේදී අදහස් දැක්වුවා.