ලබන වසරේ මුල් මාස 4 සඳහා රාජ්‍ය වියදම් පියවීම වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වුනා.
ඊට පක්ෂව ඡන්ද 102 ක් හිමිවු අතර විපක්ෂව ලැබී තිබු ඡන්ද සංඛ්‍යාව 06 ක්.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසිනුයි අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.
මෙම අතුරු සම්මත ගිණුමට අනුව රුපියල් බිලියන 970 ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වීම විශේෂත්වයක්.
එම මුදල සමස්ත අතුරු සම්මත ගිණුමෙන් ප්‍රතිශතයක් ලෙස 55% ක් වනවා.
ඊට අමතරව මෙම අතුරු සම්මත ගිණුම මගින් රුපියල් බිලියන 480 ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන්කර ඇති අතර, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 310 ක්.
මුදල් අමාත්‍යවරයා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේ පූර්ණ අයවැය ලේඛණයක් ලබන ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.