Gossips

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය – ඉන්ධන මිල සූත්‍රය යළි එයි

නව රජයේ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී මෙම අනුමැතිය හිිමි වූ බවයි අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.
මේ අතර ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුල යලි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතුරු සම්මත ගිණුම මගින් ලක්ෂ 40 කට ආසන්න පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා යළි වවුචර් පත් ලබාදීමට හැකියාවක් පවතින බවයි.
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල නොකඩවා කරගෙන යාමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළා.