Gossips

අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය – වසන්ත සේනානායක යළි පැමිණේ

ලබන වසරේ මුල් මාස තුන සඳහා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
මේ අතර, මෙම රැස්වීමට එක්වූ අමාත්‍යවරුන් පිරිසක් සඳහන් කළේ පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ වසන්ත සේනානායකද අද දිනයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටි බවයි.
ජනාධිපතිවරයාට සහය පළ කරමින් ආණ්ඩුවට එක්ව සංචාරක හා වනජීවි අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ඔහු පසුගිය 14 වැනිදා තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්ව එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයාද එක්ව සිටියා.
රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවති අතර, එහිදී මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.