Gossips

අතුරුදන් වූ හලාවත දස හැවිරිදි දරුවාගේ මළ සිරුර ඉරණවිල රක්ෂිතයකින් හමුවෙයි

හලාවත – ඉරණවිල – මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 10ක පමණ කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා පසුගිය ඉරිදා සිට අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත – බටහිර ඉරණවිල – සමිඳුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10ක් පමණ වන කුඩා පිරිමි දරුවෙක්.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා කැදවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක ආරක්ෂක කැමරාවක ද සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කළ අතර, එහිදී ඝාතනය කළ බවට සැක කෙරෙන දරුවාගේ සිරුර අද (27) උදෑසන මුවපිටිය රක්ෂිතයේ තිබී සොයාගත්තා.
පොලීසිය සඳහන් කළේ විමර්ශන මෙහෙයවූ පොලිස් නිලධාරීන්ට දරුවාගේ නිරුවත් මළ සිරුර හමුවී ඇති බවයි.
කෙසේ වෙතත්, දරුවා ඝාතනය කිරීමට පෙර කිසියම් අපයෝජනයක් සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. සැකකරු ඉරණවිල ප්‍රදේශයට විටින් විට පැමිණ කුලී රැකියාවල නිරත වන්නෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
මේ වනවිට සැකකරු ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.