Gossips

අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බවට හෙළිවේ

අතුරුදන් වූ ගාල්ල – රත්ගම – රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බවට පොලිස් පරික්ෂණවලදී හෙලි වී තිබෙනවා.
ඝාතනයට ලක්වීමෙන් පසු එම සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී පුළුස්සා ඇති අතර එහි තිබී ඔවුන්ගේ අස්ථි කොටස් සහ හිසකෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සොයා ගත්තා.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරිකයින් පැහැරගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන දෙදෙනායි.
පසුව පැහැර ගැනීමට ලක්වූ මංජුල අසේලගේ බිරිඳට මාතර – නූපේ පොලිස් කාර්යාලයෙන් නිර්නාමික ලිපියක් ලැබී තිබුණා.
එහි සඳහන් වී තිබුණේ ඔවුන් දෙදෙනා පැහැරගනු ලැබුවේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ සහ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් බවයි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගත් අතර, ඔහු ලබන 27 වැනිදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
එසේම, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සමන් රෝහණගෙන් සහ එහි තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ඊයේ සහ පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබුවා.
පසුව අදාළ සිදුවීමට සම්බන්ධ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක ඊයේ අත්අඩංගුවට ගත් අතර, අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේ.
එසේම, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සහ ගාල්ල සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය මෙම ව්‍යාපාරිකයින් ඝාතනය කළ බවට සැක කෙරෙන අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස අද පරීක්ෂාවට ලක් කළා.
කන්දක් මුදුනක ඇති එම හුදෙකලා නිවසේ හිමිකරුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති අතර, එහි ස්ථාන කිහිපයක තිබී ලේ පැල්ලම් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා තම පාසල් මිතුරෙකු බවත්, ඔහු කළ ඉල්ලීමට අනුව නිවසේ යතුර ලබාදුන් බවත් නිවසේ හිමිකරු එහිදී සඳහන් කර තිබුණා.
මීට පෙර අවස්ථා දෙකකදී අදාළ පොලිස් නිලධාරීයාගේ ඉල්ලීමට අනුව නිවෙස් හිමියා, නිවසේ යතුර ඔහුට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගැනීමට ලක්වූ සුඛෝපභෝගී වෑන් රථය, අද පරීක්ෂාවට ලක්වූ නිවස ආසන්නයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකුට අයත් බවයි පරීක්ෂණවලින් හෙලි වී ඇත්තේ.
එම හිමිකරු පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අක්මීමන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ හඳුනාගෙන ඇති බවට වාර්තා වනවා.
මේ අතර, ඝාතනය කළ ව්‍යාපාරිකයින් දෙදෙනා පුළුස්සා දැමූ වලස්මුල්ල – කණුමුල්දෙනිය රක්ෂිතයේ අදාළ ස්ථානය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා, මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් අද පරීක්ෂාවට ලක් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එම ස්ථානයට ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංකද රැගෙනවිත් තිබුණා.
එහිදී ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන හිසකෙස්, අස්ථි කොටස් සහ මාංශ කැබලි කිහිපයක්ද සොයා ගැනුණා.
සිදුවීමට අදාළව කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන හේතුවෙන් දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද පසුගිය 17 වැනිදා පොලිස් මූලස්ථානයට මාරු කළා.
එසේම, මෙම සිද්ධිය හේතුවෙන් 25 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු බස්නාහිර පළාත වෙත මාරු කර යවා තිබෙනවා.