Gossips

අතුරුදන් වූ රණමයුර පදක්කම සොයා පරීක්ෂණ අරඹයි

අවමංගල්‍යය අතරතුර අතුරුදන් වූ බවට වාර්තා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කම සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් බම්බලපිටිය පොලීසියට ලැබී ඇති අතර, ඒ අනුව වීඩියෝ දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.
මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ දිනයේදී ඔහුට හිමිව තිබූ පදක්කමක් නිවසින් අතුරුදන්වී ඇති බවට වාර්තාවූවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කමයි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය ඊයේ (03) උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම පදක්කම අතුරුදන්ව ඇති බවයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.
දේහයේ නිවසේ තැන්පත් කර තිබියදී ඒ අසල තබා තිබූ එම පදක්කම දර්ශනවල සටහන්ව තිබූ අයුරු පහතින්.