Gossips

අතුරුදන් ධීවරයින් සොයා තවදුරටත් පුළුල් මෙහෙයුම්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ධීවර අමාත්‍යාංශය පවසනවා.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ සඳහන් කළේ නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක්, ඉන්දීය රජයට අයත් ගුවන් යානයක් සහ මාලදිවයිනට අයත් යාත්‍රා කිහිපයක් මේ වනවිටත් මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.
මේ අතර අතුරුදන්වූ ධීවරයින් හත්දෙනාගේ පවුලේ ඥාතීන් සහ අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු අද පස්වරුවේ සාකච්ඡාවක් සඳහා ධීවර අමාත්‍යාංශයට කැඳවා ඇති බව අතුරුදන්වූ ධීවර යාත්‍රාවේ හිමිකරුගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
අදාළ ධීවරයින් හත්දෙනා සොයාගෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඊයේ පෙරවරුවේ හික්කඩුව වැරැල්ලාන ප්‍රදේශයේදී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ඇරඹුවා.
පසුව ඔවුන් හික්කඩුව – තොටගමුව මංසන්ධියෙන් ගාලූපාර අවහිර කරමින් යළි විරෝධතාවක නිරත වුණා.
ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අතුරුදන්වූ ධීවර යාත්‍රාවේ හිමිකරු සමඟ දුරකථනයෙන් සංවාදයක නිරතවුණා.