Gossips

අතුරුදන්වූ පුත්තලමේ දැරියගේ මවගෙන් හෙළිදරව්වක් – කිමිදුම්කරුවන් යළි කලා ඔයට

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරියගේ මව හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
එම හෙළිදරව්වට අනුව කිමිදුම්කරුවන් සමඟ පොලීසිය යළි කලාඔයට පිටත්ව ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
සෙනොරි නිශාරා නැමැති මෙම සිව් හැවිරිදි දැරිය කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී, අතුරුදන්වූයේ පසුගිය 29 වනදායි.
පසුව පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දැරිය අතුරුදන්වීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ අතර, එම පරික්ෂණ කටයුතු වෙනස් දිශාවකට යොමුවී ඇත්තේ දැරියගේ මව මේ වනවිටත් පොලීසියට සිදුකරමින් පවතින අනාවරණයක් හේතුවෙන්.
කෙසේ වෙතත් අවසන් නිගමනයක් නිශ්චිතව ප්‍රකාශයට පත් කළ නොහැකි බව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.
දැරිය සොයා කිමිදුම්කරුවන් මීට පෙරද කලා ඔය පරීක්ෂා කළ අතර, ආරක්ෂක අංශ සහ ගම්වාසීන් විල්පත්තුව රක්ෂිතය තුළද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් එම පරීක්ෂණවලදී අනාවරණ වූයේ නැහැ. දැරිය අතුරුදන්වූ දින ඇයගේ මිත්තනියගේ දෙවන විවාහයේ සැමියාද නිවසේ රැඳී සිට තිබුණා.
ඔහු ඇතුලූ දැරියගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසකගෙන් මීට පෙර පොලීසිය ප්‍රකාශ ලබාගත් අතර, එහිදී ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවූයේ ඔවුන්ගේ ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන්.
දැරියගේ මවගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීම සිදුවන්නේ ඒ අතරතුරදියි. ඇය දැරිය පිළිබඳ විවිධ තොරතුරු ප්‍රකාශ කර ඇති අතර, ඒ ඔස්සේ විවිධ ප්‍රදේශ නිරීක්ෂනය කිරීමටද ගම්වාසීන්ට සහ පොලීසියට සිදුවුණා.