Gossips

අතුරුදන්වූවන්ගේ පවුල්වලට කඩිනම් සහන අවශ්‍ය බවට නිර්දේශ

අතුරුදන්වූවන් සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවනු ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා හදිසි සහන සැපයීම අත්‍යවශ්‍ය බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරනවා.
ඒ, ඔවුන් නිකුත් කළ අතුරු වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කරමින්. එය මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව සඳහන්.
අදාළ පවුල්වල වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් සලකා බැලූ විට අවසන් හානි පූර්ණ ක්‍රියාවලියක් තෙක් බලා සිටිය නොහැකි බවයි එහි දැක්වෙන්නේ.
එසේම, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබඳව නොසලකා හැරිය නොහැකි ඉල්ලීමක් සහ අවශ්‍යතාවක් පවතින බවද අතුරු වාර්තාවේ සඳහන් වනවා.
එම නිසා පරීක්ෂණ කටයුතු සහ නඩු පවරා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය බලගැන්වීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවද ඔවුන්ගේ අදහසයි.
මූල්‍යාධාර, ණය සහන, නිවාස සංවර්ධන, අධ්‍යාපන සහන, වෘත්තීය පුහුණුව සහ විශේෂ රැකියා ලබාදීම තුළින් අතුරුදන්වූවන්ගේ පවුල්වල පවතින තත්ත්වයන් වෙනස් කළ හැකි බවද අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිකුත් කළ අතුරු වාර්තාවේ තවදුරටත් සඳහන් වනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමටද එමඟින් යෝජනා කර තිබෙන්නේ අතුරුදන්වූවන්ගේ පනත බල ගැන්වීමේ කරුණු පිළිබඳවද දක්වමින්.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ස්ථාපිත කළ කාර්යාලයේ අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියේදී කැබිනට් අනුකමිටුවක් පත්කරන බවයි.
අතුරුදන්වූවන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිලිවෙලට සහය ලබාදෙන ලෙසද ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයින් හමුවෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.