Gossips

අතීතය පසෙක තැබූ ඇමරිකාව සහ උතුරු කොරියාව අලුත් ගිවිසුමක

අදින් පසු ලෝකයේ විශාල වෙනසක් සිදුවිය හැකි බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා.
ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවති ඓතිහාසික හමුවට අද (12) සිංගප්පූරුවේ – සෙන්තෝසා දිවයිනේ පිහිටි කපේලා හෝටලයේදී එක්වෙමින්.
මෙය ඉතිහාසගත වන්නේ ධුරයේ රැදී සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු අතර සිදුවූ ප්‍රථම හමුව ලෙසයි.
සිංගප්පූරු වේලාවෙන් අද උදෑසන 9 ට සිදුවූ මෙම හමුවේදී වසර ගණනක් පුරා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවති හැල හැප්පීම් මෙන්ම දෙරටේ නායකයින් අතර කිහිප වරක් හුවමාරු වූ වාග් ප්‍රහාර වලින් මිදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතට අත දුන්නේ අතීත අමනාපකම් පසෙකලමින්.
අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර පළමුව පැවැත්වුණේ පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක්.
විනාඩි 50 ක කාලයක් පැවති සාකච්ඡා සඳහා මාධ්‍යවේදීන්ට ද ආරාධනා කර තිබූ අතර, එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉදිරියේදී දෙරට අතර ඉතා යහපත් සබඳතාවක් පැවැත්විය හැකි බවට නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි.
මෙම අවස්ථාව කරා පැමිණි ගමන දුෂ්කර වුව ද එය සියල්ල පසෙකලා මෙවැනි හමුවක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා සිය සතුට පළ කළා.
එම හමුවෙන් අනතුරුව එරට වේලාවෙන් පෙරවරු 10 යි 30 ට දෙරටේ නායකයින් ප්‍රමුඛ නියෝජිත හමුව පැවැත්වුණා.
දිවා භෝජන සංග්‍රහය පැවැත්වුණේ පැයකට අධික කාලයක් පැවති එම සාකච්ඡා වටයෙන් අනතුරුවයි.
භෝජන සංග්‍රහයෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා කපේලා හෝටලයේ කෙටි සංචාරයකට එක්වූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම් ජොන් අංට බීස්ට් ලෙස හැඳින්වෙන සිය නිල රථය දැක බලා ගැනීමට ද අවස්ථාව ලබාදුන්නා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර ඓතිහාසික ලියවිල්ලකට අත්සන් තැබුණේ ඉන් අනතුරුවයි.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීමට දෙරටේ නායකයින් එක්ව කටයුතු කරන බවට මෙම ලියවිල්ල මගින් එකඟතාව පළ කර ඇති බව සඳහන්.
හමුව අවසන් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කපේලා හෝටලයෙන් නික්ම යනු ලැබුවා.