Gossips

අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලූම් දහසක් වරායේ සිරවෙයි – තොග වෙළඳුන් වෙළඳසැල් වසා දමා, – පිටකොටුවේ විරෝධතාවක

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලූම් 1000ක් පමණ වරායේ සිරවී ඇති බවට වාර්තා වනවා.
මේ අතර, රේගු වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් පිටකොටුවේ තොග වෙළඳුන් සිය වෙළඳසැල් වසා දමා අද උදෑසන සිට විරෝධතාවල නිරත වනවා.
පිටකොටුව 4 වන හරස් වීදිය සහ පස්වන හරස් වීදියේ ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
වෙළඳසැල් වසා දැමීම නිසා පිටපළාත් වලින් පිටකොටුවට පැමිණි ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැදවමින් ඒ පිළිබඳව අදහස් පළ කර සිටියා.
එමෙන්ම කන්ටේනර් රථ ප්‍රවාහනකරුවන්ගේ සංගමය ද අද පස්වරුවේ සිය සේවා කටයුතුවලින් ඉවත් වී රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.එස්.එම්. චාල්ස් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් රේගු වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට සතියක් ගත වනවා.
තවමත් ඒ සඳහා රජය නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව දේශපාලන පක්ෂ කොළඹදී අද කැදවා තිබූ මාධ්‍ය හමු කිහිපයකදී අදහස් දක්වා සිටියා.