Gossips

අත්තනගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හෙළිවෙයි

අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා.
ඔහු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
2016 වසරේ දෙසැම්බර් මාසයේදී වේයන්ගොඩ පාලම අසලදී මෝටර් රථයකින් ගමන් කළ උදම්විට සමරේ නැමති පුද්ගලයෙකු ඝාතනයට ලක්වුනා.
එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා අතර ඊයේ රාත්‍රී වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු වන බවට හෙළිවී තිබෙනවා.
ඔහු ගම්පහ අධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇත්තේ සෑම ඉරිදා දිනකම වේයන්ගොඩ පොලිසියේ පෙනී සිටිය යුතු බවට දන්වමින්.
කෙසේවෙතත් පොලිසිය සඳහන් කළේ පසුගිය ඉරිදා දින දෙකෙහිදීම ඔහු පොලිසියේ පෙනී නොසිට ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවයි.
ඊයේ රාත්‍රී වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා පස් කැපීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට මෙම සැකකරු සම්බන්ධ කරගෙන තිබී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශණවලදී අනාවරණ කරගෙන තිබෙනවා.
පසුව ඇතිවූ මුදල් ආරවුලක් මත සැකකරු එම ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්කර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි හෙළිවී තිබෙනවා.
සැකකරු තවත් පුද්ගලයන් 3 දෙනෙකු සමග යතුරුපැදි දෙකකින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසියේ පරීක්ෂණවලට අමතරව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන්ගෙන් එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
තුවාල ලැබුවන් අතර ගැබිණි කාන්තාවක් ද වනවා.
මියගියේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.