Gossips

අත්තනගල්ලේ ඝාතනයට හේතුව පස් ව්‍යාපාරයක ආරවුලක්

අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා 2016 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා වේයන්ගොඩ ප්‍රදේශයේදී උදම්මිට සමරේ නැමැත්තා ඝාතනය කිරීමට පැමිණි චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
ප්‍රධාන සැකකරු සමඟ තවත් තුන් දෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
ඊයේ සිදුවු මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි රත්න දේවප්‍රිය නැමැති ව්‍යාපාරිකයෙක්.
ඔහු පස් කෑපීමේ ව්‍යාපාරයක නිරත වී ඇති අතර, වෙඩි තැබීමට පැමිණි චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර ඔහු සමඟ අදාළ ව්‍යාපාරයේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක්.
පසුව ඇතිවු මුදල් ආරවුලක් මත ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයා වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරු ව්‍යාපාරයෙන් ඉවත් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ගැබිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකු ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
අනෙක් තිදෙනා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණ සිදුකරනවා.