Gossips

අත්අඩංගුවේ සිටින කංජිපානිගෙන්, දුරකථන ඇමතුම් ගැන, CCDයෙන් විමර්ශන

කොළඹ අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය කාලයේ මෝදර ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි.
එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇමතුම් සම්බන්ධයෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු කංජිපානි ඉම්රාන් මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබාදුන්නා.
ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා හමුවට පසුගිය දා ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම පිළිබඳව සලකා බලමිනුයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
එසේම, කංජිපානි ඉම්රාන්, මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා ලබන මැයි 8 වනදා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.
කංජිපානි ඉම්රාන් පසුගිය 28 වන දා පෙරවරු 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබූ අතර, ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට පත්වුණේ.
පසුව, අත්අඩංගුවට ගත් ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය 15 කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබූ අතර, 29 වන දා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ද ප්‍රශ්න කර තිබුණා.