Gossips

අත්අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාර පෞද්ගලික රෝහලකට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම්.ආර්.අයි පරීක්ෂණයක් සදහා පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙනවිත් තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර රාජ්‍ය දේපලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
කෙසේ වෙතත්, සැකකරු සම්බන්ධයෙන් පොලීසිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත සිද්ධිය පිළිබද කරුණු සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදී රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රාජ්‍ය අමාත්‍යාංශයකට අයත් කැබ් රථය පෙරේදා අලූයම අනතුරට ලක්වුණා.
කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි නිවසක් තුළට කඩා වැදී දැඩි ලෙස දේපල හානි ද සිදුව තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ද තුවාල ලැබූ අතර ඔහු හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.
ඉන් අනතුරුව සැකකරු සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව තිබුණා.