Gossips

අත්අඩංගුවට ගත් කරුවලගස්වැව දැරියගේ මව මනෝ වෛද්‍යවරයෙකු හමුවට

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන බව පොලීසිය සඳහන් කළා. ඉන් අනතුරුවයි ඇය පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.
කළක සිට ඇය සිය දරුවාට පහරදීම් සිදුකරන අතර, ඒ හේතුවෙන් නිරන්තරයෙන් සිරුරේ ඉදීමීම් සහ තුවාල කැළල් තිබූ බව දැරිය ඉගෙනුම ලැබූ පෙර පාසල් ගුරුවරිය පොලීසියට ප්‍රකාශක් ලබා දී තිබෙනවා.
ඒ අනුව පසුගිය 28 වනදා ද පෙරවරුවේ සිය මව දැරියට පා පහරක් එල්ල කිරීම හේතුවෙන් සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. ඉන් අනතුරුව දැරිය ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වීම හේතුවෙන් සිය දියණිිය කලා ඔයට දැමූ බවට මව කළ පාපොච්චාරණයේ සඳහන්.
මීට පෙර දැරියගේ මිත්තනියද සිය ස්වාමි පුරුෂයා ඝාතනය කර සිරුර කලා ඔයට දැමූ ස්ථානයටම මෙම දැරියගේ සිරුරද දමා ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මිත්තනිය සහ ඇයගේ දෙවන විවාහයේ සැමියා ඊයේ පොලිස් භාරයට ගෙන පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.
දැරියගේ පියා මාතර – අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු මීට වසර 3 කට පෙර සිය පවුල අතහැර ගොස් තිබෙන්නේ මව අනියම් සබඳතා පැවැත්වීම හේතුවෙන්.
සෙනොරි නිශාරා නැමැති මෙම සිව් හැවිරිදි දැරිය නිවසේ සිටියදී, අතුරුදන්වූයේ පසුගිය 29 වනදායි. කලා ඔයට දැමූ මෙම දැරියගේ සිරුර සෙවීමේ කටයුතු අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි.