Gossips

අණ නොතැකූ මෝටර් රථයකට තණමල්විලදී පොලීසියෙන් වෙඩි – කාන්තාවකට තුවාල

තණමල්විල – බෝදාගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ සුපිරි මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි තබා තිබෙනවා.
අද අලූයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මාර්ගයේ ගමන් කළ කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තාවන්නේ.
මත්කුඩු ප්‍රවාහනය කරන සුපිරි මෝටර් රථයක් සම්බන්ධයෙන් තණමල්විල පොලීසියට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව මාර්ග බාධකයක් යොදා ඊයේ රාත්‍රි කාලයේ සිට විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදුකර ඇති බව සඳහන්.
එහිදී අධික වේගයෙන් පැමිණි සුපිරි මෝටර් රථයක් නැවැත්වීමට පොලීසියෙන් අණකර ඇති අතර, එම මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් ජංගම මුර සංචාරක රථයක් ඒ පිටුපස ලූහුබැද ඇති බවයි වාර්තාවන්නේ.
බෝදාගම ප්‍රදේශය පසුකරනවාත් සමඟම ජීප් රථය මාර්ගය හරස් කර මෝටර් රථය නැවැත්වීමට උත්සාහ කර ඇති අතර, එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයන් පොලීසියට වෙඩි තබා තිබෙනවා.
එම අවස්ථාවේ පොලීසිය මෙම මෝටර් රථයට වෙඩි තබා ඇති බව සඳහන්.
එහිදී මාර්ගය ආසන්නයේ ගමන් ගත් කාන්තාවකගේ ඇසකට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර, ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව තණමල්විල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.