Gossips

අඩු වූ බස් ගාස්තුව අද සිට

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගවල අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි.
බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ එකඟතාව මත බස් ගාස්තු සියයට 4.2 කින් පහත දැමුණු නමුත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අවම ගාස්තුවේද සංශෝධනයක් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.
අවම බස් ගාස්තුව වන රුපියල් 12 එලෙසම පවතින අතර, රුපියල් 15 සිට රුපියල් 29 දක්වා පැවති ගාස්තු අවස්ථාවන් රුපියලකින් අඩු වනු ඇති.
මෙතෙක් පැවති රුපියල් 34 ගාස්තුව රුපියල් 32 දක්වා අඩු වන අතර රුපියල් 38 ගාස්තුව අඩු වී ඇත්තේ රුපියලකින්.
රුපියල් 41 සිට රුපියල් 52 දක්වා පැවති ගාස්තු අවස්ථා රුපියල් දෙකකින් අඩු වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දුන්නේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තු ද මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 440 ක්ද, මහරගම සිට මාතර දක්වා රුපියල් 550 ක්ද, කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 570 ක් සහ කොළඹ සිට තංගල්ල දක්වා රුපියල් 720 ක් දක්වා ගාස්තු සංශෝධනය වී තිබෙනවා.
එමෙන්ම මාතර සිට මීගමුව දක්වා රුපියල් 740ක් ලෙසත් කොළඹ සිට ගාල්ල දක්වා රුපියල් 500ක් ලෙසත් ගාස්තු අඩු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
කොළඹ – මාතර රුපියල් 580 ක් දක්වා ගාස්තු අඩු කර තිබෙනවා.
මීට අමතරව කොට්ටාව – ගාල්ල, රුපියල් 420ක් ලෙසත්, කඩවත – ගාල්ල රුපියල් 480ක් ලෙසත්, කඩවත – මාතර රුපියල් 590ක් ලෙසත් කඩුවෙල – ගාල්ල රුපියල් 460ක් ලෙසත් මිල ගණන් සංශෝධනය කර තිබුණා.
වෙනස් වූ සියලුම බස් ගාස්තු මෙතැනින්