Gossips

අඩු වූ ඉන්ධන මිල අද සිට – අයි.ඕ.සී. මිලත් අඩුවෙයි

පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමුණා.
මිල අඩු කිරීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කටත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 කටත් අලෙවි කෙරෙනු ඇති.
එමෙන්ම, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා පහත දැමෙනවා.
මේ අතර, අයි. ඕ.සී. සමාගම ද ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබුවා.
ඊට අමතරව සුපර් ඩීසල් රුපියල් 10කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කර තිබෙනවා.
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව ප්‍රවාහන සේවයේ වෘත්තීය සමිති තම ගාස්තු අඩු කිරීම පිළිබදව මේ වන විට සාකච්ඡා සිදුකර තිබෙනවා.
ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ අනිද්දා දිනයේදී සාකච්ඡා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ඉදිරි සතිය තුළ දී සියයට 4ත්, සියයට 5ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු අඩු කිරීමට හැකි වනු ඇති බවයි.
මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ පහත දැමූ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ද පහත දැමීමට ත්‍රිරෝද රථ හිමියන් කටයුතු කළ යුතු බවයි.
සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පාසල් නිවාඩු සමය අවසන් වීමෙන් අනතුරුව ජනවාරි මාසය තුළ දී ගාස්තු පහළ දැමීම පිළිබදව ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.