තමන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ග අවහිර කරමින් ප්රදේශවාසීන් ඉදිකළ අට්ටාලය පොලීසිය විසින් ඉවත් කිරීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට ප්රදේශවාසීන් සූරියවැව පොලිස් ස්ථානය අසළ රැදී සිටින බවයි.
අද උදෑසන ප්රදේශවාසීන් ප්රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ග අවහිර කොට අට්ටාලයක් ඉදිකොට එහි සත්යග්රහය ආරම්භ කළා.
ඒ, දින 44ක් පුරා සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකොට සත්යග්රහයක් පවත්වාගෙන යාමෙන් අනතුරුවයි.
එහෙත් තම ගැටළුවලට විසදුම් ලබා දීමට බළධාරීන් ක්රියා නොකළ බවටයි ඔවුන් චෝදනා කළේ.
අද පස්වරුවේ සූරියවැව පොලීසියේ නිලධාරීන් පිරිසක් සහ රජයේ නිලධාරීන් ඔවුන් නව අට්ටාලය ඉදිකළ ස්ථානයට පැමිණ එය ඉවත් කිරීමට උත්සාහ දැරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
පසුව ඔවුන් පදලංගල හරහා ඇඹිලිපිටිය – සූරියවැව ප්රධාන මාර්ගය සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය අසළින් අවහිර කරමින් මාර්ගයේ වාඩි වී උද්ඝෝෂණයේ නිරත වුණා.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ඔවුන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ එහිදී පොලිස් රාජකාරීවලට බාධා කළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
මේ අතර, වසර 100ක් පමණ පැරණි මාර්ගයක් වසා දමා ඒ වෙනුවට ලබාදුන් විකල්ප මාර්ගය හේතුවෙන් ගැටළු රැසක් ඇති වී ඇති බව පවසමින් ප්රදේශවාසීන් පිරිසක් අද මහර බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
මේ හේතුවෙන් බන්ධනාගාරයට ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු ද සම්පූර්ණයෙන් අවහිර වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බන්ධනාගාරයේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් අදාළ මාර්ගය වසා දැමීමටයි බලධාරීන් මීට පෙර කටයුතු කර තිබුණේ.