Gossips

අඩි 100යේ ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා.
මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලූ වැඩකටයුතු ඇණහිට තිබෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
විරෝධතාකරුවන් පවසන්නේ තමන් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 44 ක් ගතවුවද සාකච්ඡාවක් හෝ ලබාදීමට ප්‍රදේශය නියෝජනය කරන ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙකු මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
වසර 5 කට පමණ ඉහතදී සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී පවුල් 367 කට පමණ සිය වාසස්ථාන අහිමි වුණා.
ඉන් පිරිසකට නිවාස හිමිවූ අතර, තවත් පිරිසකට වන්දි හිමිව තිබුණා. කෙසේ වෙතත් වන්දි හෝ නිවාස හිමි නොවූ පිරිසක් වසර කිහිපයක් තිස්සේ මෙලෙස විරෝධතාවල නිරතවුවද මේ වනතුරුත් ඔවුන්ට නිසි විසඳුම් ලැබී නැහැ.
ප්‍රදේශවාසීන් පවසන්නේ නිසි වාසස්ථාන නොමැති වීමෙන් තම පවුල්වල සාමාජිකයන් විවිධ ලෙඩ රෝගවලටද ගොදුරුවෙමින් සිටින බවයි.
මීට දින 44 කට ඉහතදී වන්දි අහිමිවූවන් සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවේ ගැටළු පිළිබඳ බලධාරීන් කිසිදු මැදිහත්වීමක් කර නොමැති බවට චෝදනා කරමින්.
එමෙන්ම ඔවුන් සත්‍යග්‍රහය අතරතුරම විරෝධතාකරුවන් කිහිපදෙනෙකු මාරාන්තික උපවාසයකද නිරතවුණා.
පසුගිය මස 25 වනදා විරෝධතාකරුවන් පිරිසක් රුහුණු – මාගම්පුර පරිපාලන සංකීර්ණය වෙතද බලහත්කාරයෙන් ඇතුලූවී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ධීවර හා ජලජසම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණය තුළ සාකච්ඡාවක්ද පැවැත්වෙමින් තිබූ අවස්ථාවකදියි.
එහිදී කාන්තාවන් දෙදෙනෙකු ශරීරයට පෙට්‍රල් වක්කරගනිමින් ගිනි තබාගැනීමටද උත්සාහ කර තිබූ අතර පසුව එය වළක්වාලනු ලැබුවේ විරෝධතාකරුවන්ගේම මැදිහත්වීමෙන්.
එදින විරෝධතාකරුවන් සහ අමාත්‍ය මහින්ද අමරවීර අතර සාකච්ඡාවක් පැවතියද එය අවසන් වූයේ විසඳුමකින් තොරවයි.
දින 44 ක් තිස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකළ අට්ටාලයක සත්‍යග්‍රහයේ නිරතවූ වන්දි අහිමිවූවන් අද එම අට්ටාලය ගලවාගෙනවිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලූවන ප්‍රධාන දොරටුව අවහිර වන සේ යලි ඉදිකර තිබෙනවා.
තවත් පිරිසක් පිටුපස දොරටුව අවහිර කර තිබුණා.
පසුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සූරියවැව සහකාර ප්‍රාදේශීය ලේකම් දිලූම් දයාරත්න මෙම ස්ථානයට පැමිණියා.
මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට බාධාවන අයුරින් සිදුකරන විරෝධතාව නැවැත්වීම සඳහා අධිකරණයට කරුණු වාර්තාකර වාරණ නියෝගයක් ලබාගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අධිකරණ නියෝගය ලබාගැනීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් මේ වනවිට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට පිටත්ව ගොස් ඇති බවයි.