Gossips

අඩි සීයේ අදත් විරෝධතා

විරෝධතා දෙකක් හේතුවෙන් අඩි 100 මාර්ගය සූරියවැව නගරයෙන් මේවනවිට අවහිර වී තිබෙනවා.
සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවී වන්දි නොලැබුණු ප්‍රදේශවාසීන් අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් එම මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතාවයේ නිරතවනවා.
තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් ගම්වාසීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකර ඊයේ දිනයේ උපවාසයක්ද ආරම්භ කළා.
විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් කියා සිටියේ පැය 24 ක් තුළ ගැටළුවලට විසඳුම් ලබාදෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් ඉංජිනේරුවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ දිනයේ පොරොන්දු වුවත් මේ වනවිටත් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
අද දිනය තුළ විසඳුමක් නොලැබුණහොත් හෙට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද ඔවුන් කියා සිටියා.
එමෙන්ම අඩි 100 මාර්ගයේ අනෙක් මංතීරුව සූරිවවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් අවහිරවී ඇත්තේ වන අලි ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් ක්‍රියාත්මක කර ඇති විරෝධතාව හේතුවෙන්.
විරෝධතාවයේ නිරත ගොවීන් සඳහන් කළේ තම වගාබිම්වලට සහ නිවෙස්වලට වන අලින්ගෙන් වන හානිය වැළැක්වීමට කිසිදු බලධාරියෙකු ම් වනවිට කටයුතු කර නොමැති බවයි.