Gossips

අජිත් පී. පෙරේරාට බණ්ඩාරගමදී විරෝධයක්

බණ්ඩාරගම – රයිගම්පුර – හරිත කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධි කලාපයට මුල් ගල තැබීම සිදුකෙරුණු අවස්ථාවේ ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම – ගල්පාත ප්‍රදේශයේදී මෙම හරිත කර්මාන්ත කලාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැත්වුණු අතර, ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කරමින් සදහන් කළේ එම ප්‍රදේශය නිතර ජල ගැලීම්වලට ලක්වන බවයි.
ව්‍යාපෘතිය හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුවන බවට චෝදනා කරමින් භික්ෂුන් වහන්සේ පිරිසක් සහ ගම්වැසියන් එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, අදාළ උත්සවය පැවති ස්ථානය වෙත ඔවුන් පාගමනින් පැමිණෙන විට පොලීසිය එය වැළැක්වීම සදහා වාරණ නියෝගයක් ඉදිරිපත් කළා.
ඒ අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර, ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
පසුව විරෝධතාකරුවන් කළුතර – හොරණ ප්‍රධාන මාර්ගය මග හැර වෙනත් අතුරු මාර්ගයකින් ගොස් උත්සව භූමිය ඉදිරිපිට ඉඩමකදී සිය උද්ඝෝෂණය සිදුකළ අතර, අමාත්‍ය අජිත් පී. පෙරේරා එම උත්සවයට සහභාගි වන අවස්ථාවේ හූ හඩ නගමින් විරෝධය පළ කළා.