Gossips

අගමැති හමුවීමට විජයකලා කොළඹට

රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා.
අද (04) පස්වරු 6යි 30ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩ නැගිය යුතු බවට රාජ්‍ය උත්සවයකදී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව මේ වනවිට සමාජය තුල මතුව ඇත්තේ දැඩි කතාබහක්.
අදාල කරුණ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද වාද විවාද ඇති වූ අතර සභාවාරය ද අද දිනය දක්වා කල් තැබුණා.
ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට කතානායක කරූ ජයසූරිය විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්දැයි සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී තිබුණා.
දෙමල ජාතික සන්ධානය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රාජ්‍ය අමාත්‍යවරිය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ද ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් අදාල ප්‍රකාශය පිලිබඳව විරෝධය පළ කළා.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණෙන බවද සිය පක්ෂය වෙත දැනුම් දී තිබෙනවා.
අදාල සිදුවීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පාර්ශව කිහිපයක් විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කරනු ලැබුවා.
කතානායකවරයා නීතිපති උපදෙස් ලබා ගැනීම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අදාල පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කටයුතු කරන බවයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සඳහන් කළේ රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය එල්.ටී.ටී.ඊ සංවිධානය ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක් බවයි.