Gossips

අගමැති සහ වියට්නාම අගමැති අතර හමුවක්

රාජ්‍ය සබඳතා පමණක් නොව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පාර්ලිමේන්තු, දේශපාලන පක්ෂ සහ ජනතාව අතර සබඳතාවන්ද ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් පවසනවා.
එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අද පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනෝයි නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය ලබාදෙන ලෙසද මෙහිදී වියට්නාම අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබුණා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳව සොයාබැලීම සඳහා විද්වතුන්ගෙන් යුත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාව වියට්නාම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වියට්නාමයේ හැනොයි නුවරට පැමිණියේ.