Gossips

අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකළ පෙත්සම විභාග කිරීම ලබන 03 දක්වා කල් යයි

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාග කිරීම ලබන සඳුදා දක්වා අද (03) කල් තැබුණා.
පෙත්සම අද සලකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.
පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන කියා සිටියේ පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් සිදුවුණේ පාර්ලිමේන්තු මැතිවරණය තාවකාලිකව අත්හිටුවීමක් පමණක් බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ කුමන පදනමක් සහ කුමන බලයක් යටතේ කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවුයේ ද යන්න ඔහු එහිදී ප්‍රශ්න කරනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් ලබාදෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් එය විභාගයට නොගෙන මුල් අවස්ථාවේම නිශ්ප්‍රභ කරන ලෙසයි ඉල්ලා සිටියේ.
එමෙන්ම ස්ථාවර නියෝග අත්හිට වූ මොහොතක එහි 47 – 1 වගන්ති ප්‍රකාරව විශ්වාසංග යෝජනාවක් සඳහා ඡන්ද විමසීමක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන ප්‍රශ්න කළා.
එසේම ඔහු කියා සිටියේ පෙත්සම සඳහා එදින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ කෙටුම්පතක් ද ගොනු කර ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ හැන්සාඩ් වාර්තාවේ කෙටුම්පතක් එලෙස ගොනු කළ නොහැකි බව නීතිඥවරයා අභියාචනාධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ හඬ අනුව ඡන්දයක් ගැනීමට හැකියාවක් පවතී නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ද එලෙස සම්මත කර ගත හැකි දැයි එහිදී අභියාචනාධිකරණ සභාපති පී‍්‍රති පද්මන් සුරසේන ප්‍රශ්න කර සිටියා.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය 23 වනදායි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු එය ගොනු කර තිබෙනවා.