Gossips

අගමැති වියට්නාමය අමතද්දී, හිටපු ජනපති ඉන්දියාව අමතයි

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබදව කලාපීය පොදු කථිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ වියට්නාමයේ හැ නොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථක සමුළුවේ පෞද්ගලික අංශයේ මූල්‍ය ධනය එක්රැස් කර ගැනීම මැයෙන් ඊයේ (11) පැවති පූර්ව සැසි වාරයේදී අදහස් දක්වමින්.
රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පනත් ගණනාවක් ශ්‍රී ලංකා තුළ හදුන්වා දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා 2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අද (12) ඇමතීමට ද නියමිතයි.
මේ අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන විශේෂ සමුළුවකට සහභාගිවීම සඳහා ඊයේ (11) දිවයිනෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) එම සමුළුව අමතනු ඇති.
එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ ආරාධනයකට අනුවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම සංචාරයේ නිරතවන්නේ.
සංචාරය අතරතුර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා විය හැකි බව ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.