Gossips

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදියි.
මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ අදත් සිදුවූ අතර, මෙහි තීන්දුව පස්වරු 3ට ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඩුල්ල අද පෙරවරුවේ දැනුම් දුන්නේ.
දින දෙකක කරුණු දැක්වීමෙන් අනතුරුව විනිසුරුවරුන් ඊට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රජයට විශ්වාසය පළ නොකරන බව පෙත්සම්කාර පාර්ශවය සදහන් කර ඇති බවයි.
එම නිසා ව්‍යවස්ථාවේ 48, 2 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත වී ඇති අවස්ථාවක රජය සහ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන බව ද එම නියෝගයේ සඳහන්.
එමෙන්ම අභියාචනාධිකරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 49 දෙනාගෙන් විමසා සිටින්නේ කුමන බලතල මත තම ධුර දැරුවේ ද යන්නයි.
එම ප්‍රශ්නයට පිළිතුරු ලබන 12 වන දා අභියාචනාධිකරණය හමුවේ ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාව ප්‍රකාරව සදහන් කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කරනු ලැබුවා.
අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩයට සිය ධුර දැරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කර තිබුණා.
ඒ පිළිබදව අභියාචනාධිකරණය සදහන් කළේ ප්‍රශ්නගත තත්ත්වයක් ඇති අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ගනු ලබන තීරණ දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් රටට බරපතල බලපෑමක් එල්ල කරන බවයි.
එවන් තීරණ බොහොමයක් යළි අහෝසි කළ නොහැකි බව ද එම නියෝගයේ සදහන්.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ තහනම් නියෝගයක් ලබාදී රටේ අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් තාවකාලිකව නොමැති තත්ත්වයක් බවට පත් කිරීමෙන් ඇති වන තත්ත්වයට වඩා, වත්මන් තත්ත්වය පවත්වාගෙන යාමට ඉඩ දුනහොත් ඉන් රටට සිදුකරන බලපෑම ඉතා විශාල බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට සිය ධුර දැරීමට ඉඩ ලබාදී යම් හෙයකින් ඔවුන් නීත්‍යානුකූල නොවන ලෙස සිය ධුර දරා ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කළහොත් එම තීන්දුවේ ඵලක් නොමැති බව එම නියෝගයේ සඳහන්.
එබැවින් අභියාචනාධිකරණය නියෝග කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 49 දෙනාට තනතුරු දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.
එම නියෝගය නිසා පුරප්පාඩු වන ධුරවලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම අදාළ පත් කිරීමේ බලධාරියාගේ කටයුත්තක් බව ද අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයේ සදහන්.