Gossips

අගමැති මහින්ද දළඳා සමිඳු වැඳපුදාගනී – එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය අගමැතිට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා මහනුවර දළදා මාළිගාව වෙත පැමිණියා.
අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදැක තිබෙනවා.
අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනායක හිමිවරුන් බැහැදකින ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉන්පසු අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහ නාහිමියන්ද බැහැදැකීමට නියමිතයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට සිය සහය පළ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කළා.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ද මීට පෙර නව අග්‍රාමාත්‍යවරයා හමුවී ඔහුට සහය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඞී.පී. සංවිධානයද අග්‍රාමාත්‍යවරයා වෙත සහය දක්වා සිටියා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කළේ ඔහු සිය තනතුරේ දිවුරුම් දුන් දිනයේදියි.
වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා අද ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.