Gossips

අගමැති නෝර්වේ අගමැතිනිය හමුවෙයි

නෝර්වේ නිළ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අගමැතිනී අර්නා සෝල්බර්ග්, ඔස්ලෝ නුවර දී හමුවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් මෙලෙස මෙම හමුව සිදුවූ බවයි.
සාගර ආරක්ෂා කරලීමේ සහ සාගර සාමය සුරැකීමේ පොදු ජගත් වැඩපිළිවෙලක් සැකසීමේ කාලීන අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
සාගරය මුළු මහත් ලෝකයේම උරුමයක් බැවින් සාගර සම්පත් සුරැකීම හා වර්ධනය කරලීම සදහා යොදා ගත හැකි තාක්ෂණික ක්‍රමවේදයන් හා නව දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බව ද නෝර්වේ අගමැතිනිය ප්‍රකාශ කළා.
එමෙන්ම කලාපීය හා ලෝක දේශපාලනය සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබදතා තවත් ශක්තිමත් කරලීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, එරට උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනී ටූනෙ විල්හෙල්මිසන් ටෲන් හමුවූ අවස්ථාවේදියි.
එහිදී ඇය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීම සඳහා නව නීති රීති ගෙන ඒම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළ කර තිබෙනවා.