Gossips

අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට යළි නොදෙන බවට සහතිකයක්

ආණ්ඩු පක්ෂයේ විරෝධය මැද, කථානායකවරයා සිදුකළ ඡන්ද විමසීම පිළිනොගන්නා බව ජනපති ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත පුංචිනිළමේ සහ ප්‍රසන්න රණවීර ද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කළේ රනිල් වික්‍රමසිංහට යළිත් කිසිලෙසකින්වත් අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
මේ අතර, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර ද නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයෙකුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් නිත්‍යානුකූලව සම්මත කර ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුම් දී තිබෙනවා.
එහි දැක්වුණේ පළමුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දීම සඳහා මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අත්සන් කළ යුතු බවයි.
අනතුරුව පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා එම යෝජනා නිත්‍යානුකූලභාවය කථානායකවරයා විසින් විමසිය යුතු බවට ද එහි දැක්වුණා.
පසුව එම යෝජනා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුතු අතර, වැඩ කරන දින 5කට පසු එම යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා සභානායකවරයාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ලබාදිය හැකි ආසන්නම දිනය තීරණය කළ යුතු වනවා.
එම දිනයේ න්‍යාය පත්‍රයට ද මෙම යෝජනා ඇතුළත් කොට අදාළ දිනයට විවාදය ගන්නා බවට දැනුම් දිය යුතු බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.
පසුව විශ්වාසභංගය විවාද කිරීම සඳහා ආණ්ඩු පක්ෂයටත්, විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් තීරණය කළ යුතුයි.
අදාළ දිනයේදී විවාදය පවත්වා ඡුන්ද විමසීම සහ එය ප්‍රකාශ කළ යුතු වන අතර එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාවක් නිකුත් කළ යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.
එහි අවසාන වශයෙන් දක්වා ඇත්තේ 2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉහත සදහන් ආකාරයට නිත්‍යානුකූලව ඉදිරිපත් කළ බවයි.