Gossips

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි

ජනරජයේ මුදල් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බවට කරුණු දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
එම යෝජනාවට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 101 ක්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 13 ක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කළා.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කළද, විශේෂත්වය වූයේ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ රැස්වීමට එක්ව සිටීමයි.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අද දිනයේදීත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමටයි ආණ්ඩු පක්ෂය තීරණය කළේ.
මේ අතර, පෙරවරු 09 ට කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද පැවති අතර, ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් එක්ව සිටියේ නැහැ.
පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු අතර, ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබියදී, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ ඒ වනවිට අසුන්ගෙන සිටියා.
ආණ්ඩු පක්ෂයේ සිට නැවත විපක්ෂයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායකද අද පාර්ලිමේන්තු රැස්වීමට එක්ව සිටිනු දක්නට ලැබුණා.
අනතුරුව රජයේ අරමුදල් වියදම් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ඇති බලතල අත්හිටුවීමේ යෝජනාව සභාවට රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායකයි.