Gossips

අගමැති, කථානායක සහ පක්ෂ නායකයින් මහනුවර සංචාරයක

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇතිවූ කළහකාරී ක්‍රියා හේතුවෙන් අලාභ හානි වූ ස්ථාන නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) පෙරවරුවේ එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා දිගන, කෙන්ගල්ල සහ අකුරණ ආදී ප්‍රදේශවල සංචාරය කළ බවයි මහනුවර ප්‍රදේශයේ රැඳී සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
එසේම මහනුවර දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමද අද (10) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා අඛණ්ඩව කටයුතු කරන ලෙසයි.
මේ අතර, කථානායක කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂවලට අයත් විවිධ ජාතීන් නියෝජනය කරන පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවනවා.
ඒ, පසුගියදා කළහකාරී තත්ත්වයක් ඇතිවූ ප්‍රදේශවල ජනතාව හමුවීම සඳහායි.
ඊට සමගාමීව එම පිරිස අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් බැහැදැක අනුශාසනා ලබාගත් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මහනුවර ප්‍රදේශයේ දැනට සාමකාමී තත්ත්වයක් පවතින අතර කිසිදු විශේෂ සිදුවීමක් වාර්තාවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් කළහකාරී තත්ත්වයෙන් සිදුවූ අලාභහානිවලට වන්දි ගෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.පී. හිටිසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඊයේ (09) ආරම්භ කළ එම කටයුතු ඉදිරි මාස දෙක ඇතුළතදී අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.