Gossips

අගමැති, කථානායක සහ පක්ෂ නායකයින්, අද මහනුවර යයි – ඇඳිරි නීතිය ඉවතට

මහ නගර සභා බල ප්‍රදේශය හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු ප්‍රදේශවලට ඊයේ රාත්‍රි 8 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා.
කෙසේ වෙතත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව තවදුරටත් යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මේ අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයත් සමග වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් ලබන 12 වන සඳුදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඊයේ කියා සිටියා.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 4 වනදා සිට මේ දක්වා සැකකරුවන් 146 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරි නීතිය පැනවූ කාලසීමාව තුළ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වුවහොත් වසර 7ක සිර දඩුවමක් හිමි වන බවයි.
මේ අතර, කථානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකවරුන් සහ මන්ත්‍රීවරුන්, ආගමික නායකයින් අද මහනුවර ප්‍රදේශයේ ගැටුම් ඇතිවූ ප්‍රදේශවල ජනතාව හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.
ඊට අමතරව ඔවුන් ප්‍රදේශයේ ආගමික නායකයින් ද හමුවීමට නියමිත බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද අද දිගන සහ කෙංගල්ල නගරවල සංචාරයක නිරත වනවා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගිවීමට නියමිතයි.